සරසවි දියණියෝ


ආදර  දුව,
ඔබ බොහොම කලබලකාරී ජීවිතයක් ගෙවද්දී මගේ අසනීප තත්වය හිතට වදයක්, කරදරයක් කර ගන්ට එපා. මට දැන් හොඳටම සුවයි.වැස්ස පායන කොට වයසක අයට ලෙඩ හැදෙනවා අඩුයි.
මම ටවුමට ගිහින් වැව් කන්ඩිය දිගේ එන කොට දුටුවා වැවේ වතුර උස් වෙනවාත් සමගම ඕලු, නෙලුම්, මානෙල් මල් අඩුවක් නැතිව පිපිලා තියෙනවා.
ගහ කොලත් නිල් පාටයි. රිලවු, වඳුරො වැව් පිටියේ සෙල්ලම් කරන දුවන පනින දර්ශනයත් බලා ඉන්න වටිනවා.

මේ වගේ දර්ශනයක් දකින්ට ගෙයින් එලියට බැහලා ඇවිදගෙන යන්ට මම හරිම කැමතියි.දුවටත් මතක ඇතිනේ. පුංචි කාලේ මගේ පස්සෙන් දුව.. දුව මල්, ගෙඩි, කොල එකතු කරන්ට වරින් වර නැවතුනු හැටි.ඉවරයක් නැතිව කතා කරපු හැටි, ප්‍රශ්න අහපු හැටි...! මම හරිම කැමතියි ඒ කාලේ  සිහිපත් කරන්ට. කාලය අපිව හුඟාක් දුරස් කරලා. ඒත් යතාර්ථයට අපි හැමෝම මුහුන දෙන්ට  ඕනි.


දරුවෝ ලොකු මහත් වෙන කොට එයාල එයාලගේ ලෝකය සොයාගෙන යනවා.ඒ ගමන් මග යහපත් කිරීමට වැඩිහිටියන්ට කරන්ට තියෙන්නේ අවවාද, උපදෙස් ටිකක් දෙන එක විතරයි.එතකොට ඒ දරුවෝ තම උගත්කම ප්‍රයෝජනයට අරගෙන, සමාජයත් එක්කම දුර ගමනක් යනවා.

දරුවෝ තමන්ගේ ලෝකය සොයාගෙන යනවාය කීම විවිධාර්ථයන්ගෙන් ගන්ටත් පුලුවන්.තම ගේදොර ගැන කිසිම හැඟීමක්, දැනීමක් නැතුව යාලුවන්ටත්, සෙල්පෝනයටත්, කොම්පියුටරයටත්, ඇබ්බැහිවූ තරුණ ජීවිත ගැන නොවේ මම මේ කියන්නේ..ත්‍රිරෝද රථ ජාවාරම් කාරයොත්  එක්ක එකතුවෙලා දෙමාපියන්ගේ ඇස් වහලා ගුබ්බෑයම් වලට රිංගන තරුණ ජීවිත ගැන ලොකු සංවේගයකින් මේ ලියන්නේ.දවස ගානේ පත්තර වලින්, ටී.වී. එකෙන් අහන්න දකින්න ලැබෙන්නේ පුදුම හිතෙන දේවල්. දවසකට අට දෙනෙකුට  වැඩි ගනනක් රිය අනතුරු වලින් හෝ දියේ ගිලීම් වලින් තරුණ ළමයි මැරෙනවාලු....!කොච්චර දැනුවත් කලත් පාඩම් ඉගෙන නොගන්නා එකනේ පුදුමේ....තමා විහින්ම රෝගාබාධ වලට ගොදුරු වී   අසරණ දෙමාපියන්ව කරදරේ දාන්නේ සමහර විට පවුලේ එකම දරුවා.
අනේ සිංහලයින්ට ගිය කලක්....!ඇයි අපේ දුරුවන්ගේ වයස, දැනුම මුහුකුරා යන විට ළඟාකරගත් ඉගෙනුමත් එක්ක සමාජය විනිවිද දකින්ට බැරි...?
ඉලක්ක සම්පූර්න කර ගැනීම වෙනුවට දකින දකින දේ ළං කර ගන්ට යාමයි හේතුව කියලා මට හිතෙන්නේ.
අපේ අම්මලා තත්තලා උපාධි ගත්තු අය නොවේ. ඒත් සමාජයේ ජීවත් වෙන හැටි කියලා දෙන්න තරම් මනා උගත් කමක් ඒ හැමෝටම තිබුනා.ඒ නිසාම අපරාධ වාගෙම අපචාරත් අහන්ට ලැබුනේම නැති තරම්..
යස ඉසුරු සොයාගෙන විදේශ ගතවෙන දෙමව්පියෝ ඒ දරුවන්ව කොයි තරම් ලොකු අගාධයකට ඇදලා දමනවාද..?
ඒ අරමුනු ඉටු කර ගන්නා විට මුලු පවුලම විනාශ වෙලා ඉවරයි. මේ දුප්පත් ගැමි සමාජය දැනුවත් කිරීමේ වැඩ පිලිවලක් පටන් ගන්ට අපිට බැරි  වේද කවදා හරි ? ඔයා ගමට ආ කාලෙක...?

මේ ඛේදවාචකය ගැන දිගින් දිගටම ලියවෙන්නේ ගුරු මවක් විදියට දරු දැරියන් සුමගට යොමු කිරීමට මා ගත් වෙහෙසට තවත් යමක් එකතු කල හැකි වේද යන සිතුවිල්ල නිසා.


දුව මගේ මේ ලිපිය පුරාම මගේ සිතුවිලි ඇති.ඔබව දැනුවත් කරන්ට විතරයි මම මේවා ලියන්නේ.

වෙල ඉහල ගුනවති නැන්දාගේ තුන් මාසෙ දානේ තරමක් ලොකුවට තිබුනා. දුවව මතක් කරලා වැලිතලප වගේකුත් දුන්නා ලොකු කෙලී රම්යලතා. ගමේ හුඟාක් අය එතනදී මුන ගැහුනා.
මාමත් එක්කම දූව බලන්ට එන්නද..? මොකක්දෝ නොඉවසිලි සිතුවිල්ලක් හින්ඳයි මට එහෙම හිතෙන්නේ...! කාව කොහොම හඳුනාගත්තත් හොඳ චාරයක් ඇති දරුවෙකු තෝරාගන්ට තරම් දුව බුද්ධිමත් කියන විශ්වාසය මට තියනවා.
ඔයාගේ තැන්පත් කමට හා උගත් කමට සරිලන කෙනෙකු නම්  තමා අපිට මාමා සමග වුනත් ඉස්සරහට මේ කටයුතු ගැන කතා කරන්ට පුලුවන් වෙන්නේ.ලොකු මාමා අලුත් ට්‍රැක්ටරයකුත්  ගත්තා නොවැ මේ ලඟදි. ගේත් අලුත් වැඩියා කලා  ළඟදි. ගිය කන්නේ අස්වැන්න සරුයි වාගේ දෙවියන්ගේ පිහිටෙන්.දූ ගැනත් නොවරදවාම අහනවා ආ හැම වෙලාවකම.
මාමා කැටුව මම ඔය පැත්තේ ආවොත් කරදරයක් නෑනේද  කියලා මට දැනුම්  දෙන්ට.
තෙරුවන් සරණ පතන  මා,
ආදර අම්මා.
~සුමනා සත්කුමාර~ Flag Counter