පීකුදු

පීකුදු
පීකුදු යනු අක්මාවය. එහි නියම වචනය පීකුදු ද , පීගුතු ද කියා මා නොදනී. මා කුඩා කළ එය ශබ්ද කළේ පීගුතු කියාය. හොඳ සිංහළ දැනුමක් ලද පසු එහි නියම වචනය පීකුදු බව දැන ගත් පසු , එම වචනය දෙකට තුනට කඩා එය සෑදී ඇති අයුරු සෙවීමට තැත් කලද නොහැකි විය.

මා කුඩා කළ අසනීපවී දොස්තර ගාවට ගෙන ගිය විට , අයියදුරේ දොස්තර මහතා මගේ ඇස් පරීක්ෂා කර " බබාට ලේ වඩන්ට පීගුතු ටිකක් අරන් දෙන්න " යයි කීවේය.

මා මාංශ ලෝලියෙකු හෙවත් මස් හොයා ගෙන , දඩයම් කර ගෙන කන තරම් මාංශ ලෝලියෙකු නොවේ. එසේම නිර් මාංශිකයෙක් කියාද නොකියමි.
කැඩපත ළඟට ගොස් කට ඇර දත් පිරික්සන්න. ඉදිරිපස දෙකොනේ ඇති උල් දත් වලට ගමේ ගොඩේ කියන්නේ බලු දත් හෙවත් දඩයම් දත් කියාය. එනිසා මිනිසා මාංශ භක්ෂිකයෙකැයි මට සිතේ.

මස් වල මා ආසාම කොටස පීකුදුය.
අප මුඛයෙන් ගන්නා ආහාර ගලනාලය හරහා ගොස් ආමාශයේදී නොයෙකුත් රසායනික ප්‍රතික්‍රියා වලට භාජනය වී , කුඩා අන්ත්‍රයේදී එහි ඇති අංගුලිකා මගින් උරා ගන්නා හොඳ කොටස් අක්මාවට යැවී ග්ලයිකෝජන් ලෙස ගබඩා වේ. ඒ නිසා අක්මාව පෝෂ්‍ය කොටස් වලින් පරිපූර්ණය.
හයිප්‍රෝටීන විශාල ප්‍රමානයක්, විටමින් A, විටමින් B12, ෆෝලික් ඇසිඩ්,යකඩ,කොපර් , සින්ක් , ක්‍රෝමියම් පීකුදු වල බහුල ලෙස ඇත. කෑමට අහිතකර ටොක්සින් , පිසීමේදී විනාශ වන නිසා ඒ ගැන බිය විය යුතු නැත.

පීකුදු වල විටමින් ඒ , ඩී සහ යකඩ ටොන් ගණනක් ඇත.
පහත වගුව බලන්න. සම ප්‍රමාණයේ ආහාර කොටස් වල ඇති විටමින් ප්‍රමාණය බලන්න.

බතල       1500
කැරට්      1145
පීකුදු      25800
නිවිති        997
බිත්තර      570
කොලාර්ඩ්  770
බටර්          330

ලොකු තරහක් ගිය විට " මං උඹේ කැවුතු කනවා" යැයි සමහරු කියයි. කන්නේ රසවත් නිසා මා හිතාන හිටියේ කැවුතු යනු පීකුදු කියලාය. ලොකු තරහක් ගිය විට " කෑ යුතු " නිසා කෑයුතු.. කැයුතු වී පසුව කැවුතු වී ඇත.
ප්‍රබාකරන්ගේ කැවුතු කෑමට මටද ලොකු ආසාවක් විය.
කෑ සැනින්ම කෙනෙකු මරණයට පත්වන ඉන්ද්‍රියක් විය යුතුය , කැවුත්ත. එනිසා කැවුත්ත යනු අක්මාව නොව හදවත හෝ පෙණහල්ල විය යුතුය.

ඉරිසියාව , ඉඩම් හබයක් සහ දේශපාලන ප්‍රශ්නයක් නිසා භේද වී සිටි ලොකු මාමා දිනක් හොඳටම බී , පිහියක් අමෝරා ගෙන " මං අද උඹේ කැවුතු කනවා " යයි කියා අපේ තාත්තා ඉදිරියට ආවේ මා ගැටයා කාලයේය.
මම දොර පොල්ල අතට ගත්තෙමි. " හා.. හා උඹ ඕවට පැටලෙන්න එපා. දෙමස්සිනාලා ඒවා බලා ගනීවි " අම්මා මා වැලැක්වූවාය.

නාලාගිරියා අභියසට යන බුදුන් මෙන් තාත්තා ඉදිරියට ගියේය. කිසිවක් නොවීය. තාත්තාගේ දෙකකුල් බදා ගත් ලොකු මාමා " අනේ බුදු අයියේ මට සමා වෙයන්" කියමින් වැලපෙන්ට විය. තාත්තා නම් කීවේ එසේ වූයේ තාත්තාගේ ඉණ බැඳි යන්ත්‍ර රාජයා නිසා කියලාය.
කැවුතු ගැන කියවීමෙන් වූ අප්‍රසන්නතාවය මඟ හැරීමට පීකුදු වලින් රසවත් සුප් එකක් හදා ගන්න හැටි මෙහෙමය.

අවශ්‍ය ද්‍රව්‍ය:
සෝදා ගත් පීකුදු රාත්තල් 1
ලොකු අල ගෙඩි 2
ගම්මිරිස්
ලුණු
කරපිංච
කරාඹු නැටි
සාදන ක්‍රමය.
සෝදා ගත් පීකුදු තම්බා ගෙන , නිවුනු පසු ගෑරුප්පුවකින් ඇන කුඩා කෑලි වලට කපා ගන්න. සුප් එකට අවශ්‍ය පමණ වතුර ගෙන එයට පීකුදු කෑලි සහ ඉහත කී දෑ අවශ්‍ය පමණ දමා නැවත විනාඩි 20 ක් පමණ පිස ගන්න.
~නිවීර~
Flag Counter